Sunday, September 20, 2009

කවියාගේ මෙහෙය

මා පබඳින රසහව් පිරි පෙදෙහි මහා පෙළහරකින්
දෑ අඳ දන සහතර ඉර හඳ තරු ඉඳුසැව් දුටුවොත්
බිහිරන් සවණත කන්කලු කොවුලන් ගී සර වැකුණොත්
ගොළුවන් මුව ගැබින් හදෙහි පැතුම ගීයකට නැගුනොත්
සව් ලෝ දන තුටු සයුරෙහි කිමිද කිමිද උදම් වුවොත්
එසේ ගයන නටන උදම්වන හැමගෙම ළය මඬලේ
සඳේ ලපය මෙන් නොසැලෙන වේදනාවෙ අඳුරු තිතක්
සදා රැඳී පවතින බව ඒ හැමටම පසක් වෙතොත්
මා මනදොළ සපිරෙනු ඇත, මගේ මෙහෙය නිමවනු ඇත

Friday, September 11, 2009

මිය ගිය උවැසිය

පිරුවානා පොත් වහන්සෙ
කනප්පුවෙහි පෙරලී ඇත
මිදුල පුරා වියළුණ කොළ
ඒ මේ අත විසිර තිබේ

මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස්ය
ඉඳහිට ගේ පිළිකන්නේ
බල්ලකු උඩු බුරනු ඇසේ

Wednesday, September 9, 2009

පාපොච්චාරණය

පබවත කුස කුමරුට පැරකුම් රජු ගුණ කියන දිනෙහි
ලද බැමිණිය රහල් හිමිට බැති හසුනක් යවන සඳෙහි
මනමේ කුමරිය දුවැවිත් සරව්චන්ද්‍ර සිඹින කෙණෙහි
මට මා ගැන ඇතිවෙන පිළිකුල හින්දා නොරැඳී මෙහි
පසු නොබලා දුව ගොස් සැඟවෙන්නෙමි ලෝ කුඹු නිරයෙහි

Monday, September 7, 2009

අපි වෙමු සිංහල ලේඛකයෝ

කුස ගින්නෙන් දරුවන් වැලපෙද්දී
ඇට කටු ඇඟ මස් සිදුරු කරද්දී
දුගඳ හමන පොඩි පැල්පත් අතරින්
දුප්පත්කම හෙලූවෙන් දුව එද්දී
රස්සා සොයමින් තරුණ තරුණියන්
නගරය මැද දාඩිය වස්සද්දී
එක්ටැම් ගෙයි මතු මහලට නැගිලා
සුවඳ බොජුන් වලඳා අම පැන් බී
විසිත්ත කාමරයේ පේවී හිඳ
බටහිර සාහිත ලොවෙහි ගැඹුරු තැන්
මතු කොට ඒ ගැන තර්ක කරමු අපි

සුදු මිනිසුන් මැද

ගුගුරන හෙණ හඬ විලසට
උසුළු විසුළු දෙඩුම් නැගෙයි
උපහාසය විදුලි කොටයි
ඇහි පියවිල්ලක් ගානේ.

කසු කුසු බස් සැඬ සුළඟකි
අවටැති ලොව මුලිනුදුරන
මව් ඇකයෙන් වෙන් කොට දැමු
කිරි දරුවෙක් නොවෙම්ද මම්?

Sunday, September 6, 2009

ඇලස්කාව

පියල්ලෙන් පියල්ල
අඳුරු නුබ ගැබින් වැටී
එකම හිම ලොවක් නැඟී ඇත.
තිරය මෑත් කොට
වීදුරු කවුළුවෙන් බලන කල
සුදෙන් නැඟි
නිහඬින් නැඟි නිහඬ තලාවකි.

වැහැරුණු උස් ගස් අත් විදා
ඇඟලි තුඩින්
අහස සිදුරු කරයි.
මැලවුණු හිරු
පරාජිත සඳ මඬලක් මෙන්
අඩිපාර, ගෙවුයන, පියස් මුදුන්
මුළු ලොවම සුදු හිමට බාර දී
පලා ගොස් ඇත.

නෙත් තුළට වදින හිම සුද
මුළු ගත වෙවිලවයි.
පාලුවයි, සීතලයි
හිම මැද මා අතර මං කරවයි.

සෝපාවෙහි වැතිරී
වාදනය කරවමි අමරදේව ගීතයක්.
"පිලේ පැදුර හේනට" ...
වා ගැබ උණුස්මි කරමින්.

ලෙලදෙන වදන් තුළින්
මතු වෙයි හිරු මඬලක්.
සිනා පිරි වතක්,
නෙරළු තුරු පෙළක්.

දිය වී යයි හිම කඳ
සෙනෙහස දිලෙයි ගුවනත.
පාවෙන වතුරෙහි
සේදී යයි පාලුව

උණුසුම මැදින් නැගෙන
සිංහල බස
තුරු අතු පතර
මල් ගන්වයි
මතකයෙහි තුරු හිසක සිට
කොහෙක් හඬ නගයි.

සනාතන සභා රැස්වීමක්


උස් වචන, මිටි වචන, කොර ගහන කුදු වචන

රැස් විහිදුවන වචන, අඳුර දැවටුණු වචන
හිස් කබල තුළ විදුලි කොටන එඩිතර වචන
කිනිසි තුඩු ලෙලවමින් සිල්ප දක්වන වචන
නොයෙක් ලිපි ගොනු අතර සැඟවිලා ඇති වචන
මුවත් සවනත් අතර රූ වෙනස් වන වචන
වසාගනු වස් සෙලුව ඔතාගෙන ඇති වචන
නා කපන වැස්ස සේ කඩා හැළෙනා වචන
බිඳක්වත් මහ පොළොව නොතෙමනා ඒ වචන

හොනලුලු නගරය

විඩාපත් වූ සිවුපාවෙකු විලසට
නගරය නිදියයි ගිනි කඳු යහනත

මුහුදු උඩින් එන සුළඟට එතෙමින්
සිවුපාවා ගොරවයි හඬ පතුරා

පැරණි දෙවිවරුන් පා සටහන් නැති
අහසෙහි ඇත්තේ තරුවැල් පමණයි

වදන් මැකී ගිය යැදුමක රාවෙට
තවත් දිනක් පායා එයි අහසේ

යුහුව නැඟිට සිට, නිදි ගැට පිස දා
දෙපා සසල කොට, වලිගය සොලවා

දහසක් හිමියන්ගේ දහසක් අණ
පිළිපදින්නට සැරසෙයි අද නගරය

Saturday, September 5, 2009

තවුස් උදානය

කාලය ඔද තෙද වනසා
ජීවන ගිරිකුළ මතුයෙහි
නිහඬව නිසලව සිටිනා
මුනිවරයෙක් නොවෙම් ද මම්

විරාගයේ කවුළුව හැර
එබී බලමි ලෝ ගැබ දෙස
අව්ව වැස්ස හා ඉර හඳ
වදන් පමණි දැන් මා හට

නැවතී මොහොතක් මමිතුර
බලනු මැනවි මා වත දෙස
හැඟුමි සියල් යතුගා ඇති
වෙස් මුහුණක් නොවේද එය?

තෙමමින් මා දෙපා සෙමෙන්
ජීවය අර ගලා බසියි
සතුට පරාජය හා දුක
එකට දියෙහි පා කරනෙමි

යටගියාව ගොලු වී ඇත
අනාගතය අඳ වී ඇත
ගිරිකුළ මතුයෙහි හිඳගෙන
බවුන් වඩමි පහන් සිතින්

නොදැමුණු මතකය ඉඳ හිට
රූ මා අබියස ලෙලවත
මාර පරාජය සිහි කොට
මනස් තිරය පහත හෙළමි

විමල් දිසානායකගේ නාගලකන්ද වෙබ් අඩවිය අද ඇරඹිණ.